වැව - දේශීය කෘෂි සංස්කෘතියේ හදවත
ඊශාන දිග මෝසම වෙනදා තරම් සක්‍රීය වී නැත. එහෙත් කඩින් කඩ වැටෙන වැසි වැසි සමය පැමිණි වග මතක් කර දෙයි. යම්තමින් වැසි දෙක තුනක් වැටුනු පසු වියලි කලාපයේ ජල මට්ටම ඉහල යනවිට මත්ස්‍ය අස්වැන්නදප වැඩිවේ.
මේ දිනවල වැව්ද, කුඹුරුද මහා මාර්ගද ජලයෙන් පිරී ගොසිනි. කඩින් කඩ ජලයෙන් වැසුන අම්පාර කල්මුන මහාමාර්ගයේ අම්පාර දෙසට එමින් සිටියෙමි. වලතාපිටිය වැවට පහලින් වෙල්යායට මායිම්ව පාර අයිනේ වැව් මාලු අලෙවි කරන පාසල් වියේ දරුවන් මේ දිනවල සුලභ දසුනක්ය. ලූලෙකු මිලට ගැනීමේ අදහසින් නැවතුන මා ඔවුන්ගෙන් මාලු පිලිබඳව විමිසීමි.
“මොනවද මල්ලි තියෙන මාලු ?”
“මේ තියෙන්නේ සර් කොරලි, අර ගං කොරලි, මේ ලූලො හතර නෙකේ ඉන්නෙ,”
“අර එහා පැත්තෙ තියෙන්නෙ?”
“ඒ ආඳො, තව හුංගො , මගුරො ත් ඉන්නවා. මොනවද ඕනි,?”
දම්ල ජාතිකයින් වුවද හොඳින් තේරුම් ගත හැකි කැඩුන සිංහලෙන් ඔවුන් වෙළඳාමේ යෙදෙයි.
“ලූලෙක් කීයද? ”
“එකෙක් තුන්සීයයි. දෙන්නෙක් අරන් පන්සියක් දෙන්න”
“වැඩියිනෙ ගණන් ?”
“වැඩි නෑ මහත්තයා. එකෙක් කිලෝ දෙකක් විතර තියෙනවා. හොඳට ලේ හැදෙන කෑමනෙ”
සිංහල උච්චාරනය නුහුරු වුවද උපතින් ගෙන ආ මුඛරිකමින් යුතුව ඔහු කියයි. කී කථාවේ සත්‍යයක් නැත්තේද නොවේ.
“කොහෙන්ද අල්ලන්නේ. වැවේ ස්පිල් එකෙන් නේද? ඒවා ඔච්චර ගණන්ද? ”
තවත් මුඛරි වදනක් අසනු රිසියෙන් මම පවසමි.
“හා එහෙනම් මහත්තයා ගිහිල්ලා අල්ලගන්නකෝ ”
ඔහු මාව ගණන් නොගෙනම පවසයි.
“ලූලො දෙන්නෙක් දාලා දෙන්කෝ. ”
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා යනෙන ඒ මහ මග බොහෝ දෙනෙක් නතර වී මාලු රැගෙනයති. ජාති බේද නොහඳුනනා ලූලෝද, කොරලියෝද වැල් වල එල්ලි සිංහල දෙමළ මුස්ලිම් නිවෙස් වෙතට යති.
වියලි කලාපයේ වැව් යනු සුව්ශල් ආර්ථික සම්පතකි. වැව නොමැතිව මෙහි ජනාවාස නොපවතින්නේය. එය වැව මූලික වූ සංස්කෘතියකි. වැවගම්පත්තුව ඒ අතුරිනුත් සුවිශේෂී වේ. වියලි කලාපයේ තිබෙන ප්‍රධාන වැව් 3500න් භාගයක මිරිදිය මාලු වගා කල හොත් රුපියල් බිලියන පහක පමණ වාර්ෂික ආදායමක් උපයා ගත හැකි බව මෙරට ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ විශේෂඥයකු වන ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා වරෙක පෙන්වා දී තිබුණි. එමෙන්ම එමගින් සැලසෙන ඝෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයද විශාලය. රට පුරා ව්‍යාප්තව ඇති රක්ත හීනතාවය, මන්ද පෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් අවම කර ගැනීමටද හැකියාව ලැබේ.
මෙකල වැව් වැස්ස දෙක වැටෙන් විටම පිරී යයි. ඊට හේතුන වැව් වල රොන් මඩ පිරී තිබීමයි. මේ තත්වය වැළැක්වීම සඳහා අතීතයේ කුලු වැව් නැමති තවත් කුඩා වැව් වර්ගයක් ඉදි කර තිබුණි. ජලයත් සමග රොන් මඩ පැමිණ කුලු වැවේ පිරුන පසු පැය හතරකට පමණ පසු ජලය මහ වැවට වෑ කණ්ඩිය දෙපැත්තෙන් ගලාගෙන යයි. එම කුළු වැව් කිසිවිටෙකත් ගොවිතැන් කිරිමට ජලය ලබා ගැනීම සඳහා භාවිතා නොකරන ලදී.
විශාල ජලාශ නිසා භූමිය ලවණීකරණය වන බවද මෙකලද බොහෝ විට අසන්නට ලැබෙන කතාවකි. ජලාශයක් තුල ලවණ අවක්ෂේපවීම පිළිගත හැකි සත්‍යයකි. විශේෂයෙන්ම සීමිත වර්ෂාපතනයක් පවතින, ජලය ගලාගෙන යාම අඩු ප්‍රදේශ වල මෙම තත්වය බහුලය. අතීතයේ මෙම ලවණ වෑකන්දට යටින් කාන්දු වී පහලට එනවිට ඒවා එකතු වීමට කට්ටකාඩුව ලෙස නම් කල වගුරු බිමක් වෙන් කර පැවතුණි. එමෙන්ම එම වගුරු බිමෙහි ලවණ අවශෝෂනය කරන වල් බෙලි, වැටකෙයියා, අනුක්කන්, අඬහැර, තල් ආදී ගස් වර්ග වවා තිබුණි. දශක කිහිපයක සිට අපි එම ස්වභාවික උපක්‍රම වලින් ඈත ව මූල පද්ධතිය අහිමි පරපුරක් ලෙස කෘෂි සංස්කෘතිය(Culture) අතහැර කෘෂි කර්මාන්තය(Industry) සොයා යමින් සිටියෙමු.
වර්තමානයේ වී වගාව අත්හළ යුතු වගාවක් බවට ඊනියා ආර්ථික විශලේෂකයින් මත පළ කරයි. එය ආර්ථික වශයෙන් විශාල පාඩු ගෙන දෙන්නක් බවට වන සමීක්ෂණ වාර්තා පළවේ. එහෙත් වී වගාවෙන් තොර ලාංකාවේ වියලි කලාපීය ජව ජීවිතයක් පවතින්නේද? මීට වසර කිහිපයකට පෙර ලොව පුරා හමා ගිය ආර්ථික අර්බුදයේදීත් ශ්‍රී ලාංකිකයන් කුසගින්නේ නොමැරෙන්නට මූලික හේතුවක් වී තිබුණේ අපේ ගමේ ඉතිරිව ඇති,වැව හා ඒ ආශ්‍රිත වී, කොස්, පොල් ආදී වගාවන් සහිත ගැමි කෘෂි සංස්කෘතියේ නටබුන් ය. වැව් අමතක කර දමා මෙරට ආර්ථික අභිවෘද්ධියක් ඇති කල නොහැකි බවත්,.වැවක් යනු ජාතියට මවක් බවත් විශ්වාස කරන සමාජ ආර්ථික ගමනක් අවැසි වී තිබේ. මව මැදපෙරදිග වහල් සේවයට අපනයනය කරන ආර්ථිකයක් උරුම කර දුන් ආර්ථික විශ්ලේෂකයන්ගේ සැලසුම් වල ආදීනව ලෙස හෙට දවසේ ඇමරිකන් තිරිඟු ගොවියා මත සේම පාකිස්ථානු සහල් ගොවියා යැපෙන්නට සිදු වුවහොත් පුදුම විය යුතු නැත. ඒ ඛේදනීය ඉරණම අත් වන තුරු බලා නොසිට දේශීය කෘෂි සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් පෙරට ඒම සෑම සබුද්ධික ශ්‍රීලාංකිකයෙකුගේම වගකීමක් වනු ඇත.
- කමල් නෙත්මිණි
Comments
Post a Comment